அநுராதபுரம், கடபனஹா பகுதியில் இரவுநேர களியாட்ட விடுதியொன்றின் உரிமையாளரான பிரபல கராத்தே மாஸ்டர் வசந்த சொய்சா, 20 பேரடங்கிய கும்பலொன்றால் கூரிய ஆயுதத்தால் வெட்டுப் படுகொலை

445

 

අනුරාධපුර – කඩපනහ – මුදිතා මාවතේ පිහිටි රාත්‍රී සමාජ ශාලා හිමිකරු වන කරාතේ ශූර වසන්ත සොයිසා  ඝාතන සිද්ධිය මෙහෙයවා ඇත්තේ යුද හමුදා විශේෂ බලකායෙන් පැන ගිය සෙබලෙකු බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණ වී තිබෙනවා. ඝාතනයට ලක්වූ පුද්ගලයා සහ මොහු අතර පැවැති පෞද්ගලික ආරවුලක් හේතුවෙන් ඝාතනය සිදුකරන්නට ඇති බවටයි පොලීසිය සැක කරන්නේ. සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය මේ වන විට සැකකරුවන් 8 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඝාතනය මෙහෙය වූ යුද හමුදාවෙන් පැන ගිය සෙබලා ඇතුළු ඉතිරි සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා තවදුරටත් විමර්ශන සිදුකෙරෙනවා.

මුහුණු ආවරණය කරගෙන පැමිණි 20 දෙනෙකුට අධික සංඛ්‍යාවකින් යුත් කණ්ඩායමක් අදාළ සමාජ ශාලාවට ඇතුළු වී එහි හිමිකරු ඝාතනය කර තිබුණේ පෙරේදා රාත්‍රියේයි. පැමිණි පිරිස සමාජ ශාලාවේ දේපළවලට මෙන්ම එහි නවතා තිබූ වාහන කිහිපයකට ද හානි කර තිබුණා. සමාජ ශාලාවේ සවි කර තිබූ ආරක්ෂිත කැමරා දර්ශනවලට අනුව සිද්ධිය සඳහා පුද්ගලයින් 24 දෙනෙකු පමණ පැමිණ ඇති බවට හඳුනාගෙන තිබෙනවා. ඔවුන් පොහොර උර වලින් සැරසී , ලී සහ යකඩ පොලූ අතැතිව සමාජ ශාලාව වෙත පැමිණ තිබෙනවා. ඒ සඳහා උපයෝගි කර ගත් ලී පොලූ කපාගෙන ඇත්තේ අනුරාධපුර මල්වතුඔය අසලින් බවට තොරතුරු අනාවරණ වී ඇති බවයි විමර්ශන සිදුකරන උසස් පොලිස් නිලධාරියෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

දැනට අත්අඩංගුවේ සිටින සැකකරුවන් අතර අනුරාධපුරයේ පිහිටි නිවාඩු නිකේතන දෙකක හිමිකරුවන් දෙදෙනෙකු ද සිටිනවා. එසේම, පොරෝ පහරක් එල්ල කර සමාජ ශාලාවේ හිමිකරු වන වසන්ත සොයිසා ඝාතනය කළ පුද්ගලයා ද ඊට ඇතුළත්. ඒ සඳහා උපයෝගි කර ගත් පොරෝ තලය සහ එහි පිලිස්සුණු මිට අද දිනයේ පොලිසිය සොයා ගත්තේ අනුරාධපුර ශාවස්තිපුර – පහේ කැලේ වන ලැහැබක තිබියදීයි. එසේම, ඝාතකයින් පැමිණි වාහන 3 ක් ද පොලිසිය අද සොයා ගත්තා.

ඝාතනය සිදුකළ දින රාත්‍රියේ මෙම පිරිස අත්අඩංගුවට ගෙන සිටින නිවාඩු නිකේතනයක හිමිකරුවෙකුගේ හෝටලයක් වෙත පැමිණ තිබෙනවා. එහිදී ඔවුන් මත්පැන් සාදයක් ද පවත්වා ඇති බවටයි හෙළි වී ඇත්තේ. සිද්ධිය සඳහා උපයෝගි කර ගත් ලී පොලූ, සකස් කර ඇත්තේ ද මෙම නිවාඩු නිකේතනයේ සිටයි. එතැන් සිට සැකකරුවන් සමාජ ශාලාව වෙත පැමිණ ඇති බවට අනාවරණ වී තිබෙනවා. මෙම සිද්ධියේ ඉතිරි සැකකරුවන් ද කඩිනමින් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර අද දහවල් පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළා.

ඝාතනයට ලක් වූ 57 හැවිරිදි වසන්ත සොයිසා ගිනස් වාර්තා කිහිපයකට ද හිමිකම් කියනවා. ඔහුගේ දේහය මේ වනවිට සිද්ධිය සිදුවූ සමාජ ශාලාවේ තැන්පත් කර ඇති අතර, දේහය පිළිබඳ අවසන් කටයුතු අනුරාධපුර – විජේපුර – නිසල නිම්නය සුසාන භූමියේදී හෙට සිදුකිරීමට නියමිතයි.

Update: Monday, 26 October 2015 – 18:38
—————————————————
අනුරාධපුර කරාතේ ශූරයාගේ ඝාතනයට 8ක් අත්අඩංගුවට

අනුරාධපුර – කඩපනහ – මුදිතා මාවතේ පිහිටි රාත්‍රී සමාජ ශාලා හිමිකරු වන කරාතේ ශූර වසන්ත සොයිසා  ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන් 8 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර කියා සිටියේ අත්අඩංගුවට ගත් අය අතර නිවාඩු නිකේතන හිමිකරුවන් දෙදෙනෙකුද සිටින බවයි. අත්අඩංගුවට ගත් සැකකරුවන් කිහිපදෙනෙකු සහ සමාජශාලා හිමිකරු අතර පැවති පෞද්ගලික ආරවුලක් මෙම ඝාතනයට හේතුවී ඇති බවද ඔහු සඳහන් කළා.

එසේම ඝාතනය සඳහා සැකකරුවන් පැමිණි මෝටර් රථයක් සහ ත්‍රිරෝද රථයක්ද පොලීසිය අද උදෑසන සොයාගත්තා. එසේම සැකකරුවන් රැගෙන ආ යකඩ පොල්ලක්, ලී පොලූ හතරක්, පොරෝ තලයක් සහ අඩක් පිලිස්සුනු පොරෝ මිටක්ද සොයාගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර කියා සිටියේ. එසේම ඝාතනය සඳහා පැමිණි තවත් සැකකරුවන් 15 දෙනෙකු පමණ අත්අඩංගුවට ගැනීමට විමර්ශන සිදුකරන බව ඔහු අනාවරණ කළා.

වසන්ත සොයිසා නැමති මෙම සමාජශාලා හිමිකරු ඝාතනයට ලක්වූයේ පෙරේදා රාත්‍රියේයි. තවද ඔහුගේ දේහයද අද නිවසට රැගෙනවිත් තිබෙනවා.

SHARE